සාහිත්‍යය සිංහලෙන් බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඉංග්‍රීසි සාහිත්‍යය සාමාන්‍ය පෙළට ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙනුයි. ඔවුන්ට ඉංග්‍රීසි අඩවියක් විනා සිංහල එකක් කුමටද? ඇත්ත.. නමුත් සාමාන්‍ය පෙළට නිර්දේශිත බොහෝ ඉංග්‍රීසි කවි, කෙටිකතා ආදිය සඳහා ඉංග්‍රීසි බසින් ලියවුණු විචාර අන්තර්ජාලයේ සොයා ගන්නට අපහසු නෑ.. මේ ඒ දරුවන්ට සිංහලෙන් අත්වැලක් වන්නට සැකසුණු අඩවියක්...
මෙහි මා පළ කරන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට නිර්දිෂ්ට කවි, කෙටිකතා හා වෙනත් ගද්‍ය (ප්‍රබන්ධ නොවන) යන්හී සිංහල පරිවර්තනයි. ඒවා සෘජු පරිවර්තන නොවී ඇතැම් විට අනුවර්තන ලෙසින්ද පළ වෙනු ඇති. අනුවර්තන හා සෘජු පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීම පාඨක ඔබට භාරයි.
ඇත්තටම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය නිර්දේශය දෙස බලන්නෙකුට පැහැදිලිවම එහි ඉංග්‍රීසි සාහිත්‍යයට එහා ගිය යමක් දකින්නට පුළුවනි. මාධ්‍යය ඉංග්‍රීසි වුවත් ඉංග්‍රීසි ලේඛකයන් අපි දකින්නේ අතළොස්සයි. විලියම් බ්ලේක්, ජෝන් කීට්ස්, ඇල්ෆ්‍රඩ් ටෙනිසන්, සාකි (හෙක්ටර් හියු මුන්රෝ) වැනි කිහිප දෙනෙක් හැරුණු විට අනෙක් සියලු ලේඛකයන් හරහා අපට මුණ ගැසෙන්නේ අතිශය විවිධත්වයෙන් යුත් ලෝක සාහිත්‍යයක්...
ඒ අතර ශ්‍රී ලාංකීය (යැස්මින් ගුණරත්න, තිස්ස අබේසේකර, කුමාර සංගක්කාර, සොනාලි දැරණියගල), ඉන්දීය (හරීන්ද්‍රනාත් චට්ටෝපාධ්‍යාය, රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි), ගයනියානු (ජොන්සන් ඇගාඩ්), චිලියානු (ගේබ්‍රියලා මිස්ට්‍රල්), අමෙරිකානු (ස්ටීවන් ක්‍රේන්, එමිලි ඩිකින්සන්, එඩ්වින් ආර්ලින්ටන් රොබින්සන්, මායා ඇන්ජලෝ), නයිජීරියානු (ගේබ්‍රියල් ඔකාරා) ලේඛක ලේඛිකාවන් හරහා එකී සංස්කෘතීන් විනිවිද දකින්නට අපට අවස්ථාව උදා වනවා.
එහෙනම් අවසරයි.... යමු මාත් එක්ක මේ සොඳුරු සාහිත කෙතේ ඇවිදින්නට...
