Wednesday, March 15, 2017

Once Upon a Time - Gabriel Okara

පුංචි පුතුට...
මපුත..
පෙර මිනිසුන් සිනාසුනේ හදවතිනි..
එමතුදු නොව දෑසිනි
දැන් මිනිසුන්..
දතින් පමණක් සිනාසෙති..
උන්‍‍ගේ හැඟුම් නැති වියළි ඇස්..
සොයයි මා සෙවනැල්ලේද ඇද කුද
පෙර උන් අතට අතදී
වැළඳ ගත්තද හදවතින්..
අද හිනැහී දකුණත දී..
වමත කළඹවයි මා හිස් සාක්කුව..
අහා...! මේ ඔබෙ නිවසමයි..
නැත කිසිදු වෙනසක්..
එන්න ආයෙත් කියති හිනැහී
පළමුවත් දෙවනුවත් එමමැයි..
නමුත් තෙවනුව...
දොර වසා ඇත ඇතුළතින්...
මමත් උගතිමි බොහෝ දේ පුත
තැනට ගැළපෙන මුහුණුලන්නට..
ගෙදර එක් මුහුණකුත්,
පාරෙ එකකුත්, කාර්යාලයෙ තවත් එකකුත්,
අමුත්තන් හට තවත් එකකුත්
පාටි එකකදි වෙනම එකකුත්...
වෙනස් නොවෙනා හිනාමුහුණක්..
මමත් උගතිමි හිනාවෙන්නට..
අනිත් උන්මෙන් දතින් පමණක්
'ආයුබෝවන්' කියමි හිනැහි..
'හොඳයි යනඑක' හිතින් කියමින්..
නැතත් හමුවීම සතුටක්..
කියමි 'කොතරම් හොඳද ආ එක?'
ඒත් මාපුත..
නුඹ වගේ මා සිටිය සමයට
ඔනැ මට දැන් යළිත් යන්නට
රැඟුම මේ මා හිතට වදයක්..
නැවත පෙරසිටි කෙනා වන්නට..
උගත් මේ දෑ නසාලන්නට..
කැඩපතට මා හිනාවෙනවිට..
විස සපුන්ගේ දළ වගෙයි දත්
බොහෝ කලකට පෙරදි මා
හිනැහුනේ මේ වගෙයි කියලා..
කියාදෙනු මැන මා පුතණුවනි..
සැබෑ සිනහව ඔබෙන් පමණකි..
මුළු ලොවෙන් මා විඳින්නේ...

No comments:

Post a Comment